හෝමුස්හි ඉරාන යාත‍්‍රාවලට පහර දෙන්නැයි ට‍්‍රම්ප් යලි නියෝග කරයි...


හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අතුරන ඕනෑම ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල කර විනාශ කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නාවික හමුදාවට නියෝග කර තිබේ
.

මෙම තීරණය ගෙන ඇත්තේ ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන මෙම මුහුදු සන්ධිය සති හතක පමණ කාලයක් වසා දමා ඇති අතරතුර, ඇමරිකානු හමුදා එම කලාපයේ ඇති බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින පසුබිමකය.

පසුගිය දින කිහිපය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇත. ඊයේ දිනයේදී ඉරානය විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකා තුනකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් නෞකා දෙකක් තම භාරයට ගත් බවටද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් නෞකා අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ. මේ අතර, ඉන්දියන් සාගරයේ ගමන් කරමින් තිබූ ඉරාන තෙල් රැගත් නෞකාවක් ඇමරිකානු හමුදා විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, අවහිර කිරීම් ආරම්භ වූ දා සිට ඇමරිකාව විසින් මෙවැනි නෞකා දුසිම් ගණනක් රඳවාගෙන ඇති බව වාර්තා වේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් බදු අය කිරීමට ඉරානය පියවර ගෙන ඇති අතර, ඒ හරහා තමන්ට පළමු වරට ආදායම් ලැබුණු බව ඔවුන් පවසා ඇතත් එම මුදල් ගෙවූයේ කවුරුන්ද යන්න අනාවරණය කර නැත.

ඇමරිකාව මෙම බදු අය කිරීම නීතිවිරෝධී බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙවැනි බදු ගෙවන නෞකා ද අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ නාවික ඒජන්සිය ද පෙන්වා දෙන්නේ මෙවැනි බදු අය කිරීම් ජාත්‍යන්තර නාවික කටයුතුවලට භයානක පූර්වාදර්ශයක් විය හැකි බවයි.

දෙරට අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම ගැටුම අවසන් කිරීමට තමන්ට කිසිදු කාල පීඩනයක් හෝ හදිසියක් නොමැති බවයි.

තමන් අපේක්ෂා කරන්නේ ඇමරිකාවට වාසිදායක හොඳ ගිවිසුමක් පමණක් බවත්, එතෙක් සටන් විරාම දිගු කිරීම් පිළිබඳ අවධානය යොමු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත

1 Comments

  1. මෙදාපාර ට්‍රම්ප් ලොක්කා ඉල්ලාගෙන කන්නයි යන්නේ. මේ වනවිට ඇමරිකාවෙ යුධ නැව් විශාල ගානක් ඉරානය ආසන්නයේ ඉන්නේ. ඉතා බලගතු ඉරාන මිසයිල වලින් පහරදීලා ඔය කියන නැව් සියල්ල ගිල්වීම ඉරානයට සුලු දෙයකි. එසේ උනොත් බොහෝ නාවුක පිරිසක් මියයනවා නියතයි

    ReplyDelete
Previous Post Next Post