ඉරානය යලිත් හෝමුස් වසා දමයි...

 

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය පාලනය කිරීමේ බලය යළිත් සිය සන්නද්ධ හමුදාවන් යටතේ පවතින "දැඩි කළමනාකරණ" මට්ටමට පත් කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) මූලස්ථානය නිවේදනය කළේය.

මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමරිකානු රජය සිය පොරොන්දු කඩ කරමින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතා තවදුරටත් ක්‍රියාත්මක කිරීම බව ඉරානය පවසයි. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් මහතා අවධාරණය කළේ, ඇමරිකාව සිය අවහිරතා දිගටම පවත්වාගෙන යන්නේ නම් හෝමුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් විවෘතව තැබීමට තමන් බැඳී නොමැති බවයි.

පසුගිය සිකුරාදා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ප්‍රකාශ කර තිබුණේ ලෙබනනයේ සටන් විරාමයට සමගාමීව සියලුම වාණිජ නෞකා සඳහා සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීරණය සාදරයෙන් පිළිගත්තද, ඉරාන වරායන් වෙත පනවා ඇති දැඩි සම්බාධක සහ අවහිරතා ඉවත් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ඉරානය සිය තීරණය යළි සමාලෝචනය කර ඇත.

ඉරානය පවසන පරිදි, මීට පෙර එකඟ වී තිබුණේ නෞකා ගමනාගමනය සඳහා "සීමිත" සහ "කළමනාකරණය කළ" අවසරයක් ලබා දීමටය.

එහෙත් ඇමරිකාව 'මුහුදු කොල්ලකරුවෙකු' මෙන් හැසිරෙමින් නාවික සම්බාධක පවත්වාගෙන යන බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය යළිත් ඉරාන හමුදාවන්ගේ දැඩි පාලනයට නතු කිරීමට සිදුව ඇති බව ඉරාන රජයේ රූපවාහිනිය (IRIB) වාර්තා කළේය.

ලෝකයේ තෙල් අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික ජල මාර්ගය, ඉකුත් පෙබරවාරි අගභාගයේදී ඇමරිකාව සහ ඉස්රායලය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් වසා දැමුණු අතර, එය ලෝක තෙල් මිල ඉහළ යාමට ද ප්‍රබල ලෙස බලපෑවේය.

ඉස්රායලය සහ ලෙබනනය අතර ක්‍රියාත්මක වන දින දහයක සටන් විරාමය ලබන අප්‍රේල් 26 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගතය ද එම සටන් විරාමය මත තීරණය වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

5 Comments

  1. එක්කෝ ඕක ඇරලා තියපල්ලා; නැතිනම් වහලා තියපල්ලා. news follow කරලාම එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. Gossipge keppa... Iraneta rewichcha parata Gossipatath rewila

    ReplyDelete
Previous Post Next Post