ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය ට‍්‍රම්ප්ට එරෙහි වේ..

 


ලෝක වෙළඳපොළට අත්‍යවශ්‍ය බොරතෙල් සහ ස්වභාවික වායූන් සපයන ප්‍රධානතම මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව දේශපාලන හා යුදමය සැලසුම් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වී ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ එක්ව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ප්‍රකාශ කර සිටියේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් ආරම්භ වන්නේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින සතුරු ක්‍රියාමාර්ග අවසන් වීමෙන් පසුව පමණක් බව ඔහු අවධාරණය කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ මැදපෙරදිග ගැටුමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා කිසිදු උත්සාහයක් අත් නොහළ යුතු බවයි.

ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා යළිත් ඉහළ ගොස් ඇත. මෙම යුදමය තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය පවුලකට වසරකට පවුම් 480ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවනු ඇති බව 'රෙසලියුෂන් ෆවුන්ඩේෂන්' ආයතනය පුරෝකථනය කරයි.

මේ අතර, ඇමරිකානු නෞකාවලට අවහිරයක් වන ඕනෑම ඉරාන වේගවත් ප්‍රහාරක යාත්‍රාවක් වහාම විනාශ කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් නියෝග කර තිබේ. ඉරානය විසින් නෞකාවලින් නීතිවිරෝධී ලෙස බදු අය කරන බවට චෝදනා කරන ට්‍රම්ප්, එම බදු ගෙවන කිසිදු නෞකාවකට ආරක්ෂිත ගමන් මගක් හිමි නොවන බවට අනතුරු ඇඟවීය.

මීට පිළිතුරු දෙමින් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් කලිබාෆ් ප්‍රකාශ කළේ, "ඔබ සටන් කරන්නේ නම්, අප ද සටන් කිරීමට සූදානම්" බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන බෝම්බ ප්‍රහාර වහාම නැවැත්විය යුතු බවයි. එම ප්‍රහාර හේතුවෙන් දරුණු මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවත්, මෙම යුද්ධයේ ආර්ථික බලපෑම යුද්ධය අවසන් වූ පසුව ද දිගුකාලීනව පවතිනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Previous Post Next Post