ඉරානය සමඟ පවතින සාම සාකච්ඡාවල පවතින අවහිරතා මගහරවා ගැනීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පනවා ඇති ඇමරිකානු නාවික අවහිරතා ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
දෙරට අතර ස්ථාවර සාම ගිවිසුමකට එළඹීමට හැකි වන්නේ නම්, අරාබි මුහුදේ ක්‍රියාත්මක ඇමරිකානු නාවික මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පාකිස්ථාන නිලධාරීහු පවසති.
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්ථාන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මහතා, ඉරිදා දින ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවැති දුරකථන සංවාදයකදී මෙම නාවික අවහිරතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ස්ථාවර සාමයක් ඇතිවන තෙක් මෙම අවහිරතා පවත්වාගෙන යන බව මීට පෙර ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබුණද, පාකිස්ථාන මැදිහත්කරුගේ මෙම ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට ඔහු එහිදී එකඟ වී ඇත.
කෙසේ වෙතත්, සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය තවමත් දැඩි ස්ථාවරයක පසුවන බව පෙනෙන්නට තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි මහතා රජයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡා සඳහා ඉරාන නියෝජිත පිරිස සහභාගී නොවන බවයි.
ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කළ ඔහු, ඇමරිකාව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය.
