චමල්ගේ ඉඩම් ගණුදෙනුවක් අධිකරණයෙන් අත්හිටුවයි...


 හම්බන්තොට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ලබාදීමට නියමිතව තිබූ ඉඩමක් වෙනත් ආයතනයකට පැවරීමට බලධාරීන් ගත් තීරණය අභියාචනාධිකරණය විසින් අවලංගු කර ඇත. 

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින්, එවකට ඉඩම් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පර්චස් 65ක ඉඩමක් දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට අනුමැතිය දී තිබුණි.  

එම පොරොන්දුව නොතකා, බලධාරීන් විසින් අදාළ ඉඩම මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම වෙත පැවරීමට පියවර ගෙන තිබිණි.  

අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම විභාග වූ අතර, එහිදී රතුකුරුස සමාජය අදාළ ඉඩම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලාපොරොත්තුවක් තබාගෙන සිටියදී එය වෙනත් පාර්ශවයකට පැවරීම නීති විරෝධී බව අධිකරණය තීන්දු කළේය.  

ඒ අනුව, ඉඩම වෙනත් ආයතනයකට පැවරීමට ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කරන ලදී.  

අදාළ ඉඩම නැවත රතුකුරුස සමාජය වෙතම දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කෙරිණි.  

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ඉඩම් කොමසාරිස්වරයා, මාර්ග සංවර්ධන අධිකාරිය සහ හම්බන්තොට දිසා ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය පෙනී සිටියාය.

1 Comments

Previous Post Next Post