සියළු දිස්ත‍්‍රික්කවල සෞඛ්‍ය අඩුපාඩු හොයන්න මාලිමා මන්ත‍්‍රීවරුන් පත් කරයි..


 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මෙරට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් "දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්" ලෙස පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මේ වනවිට හිමිවී ඇත.

මධ්‍යම රජය සහ පළාත් සභා මඟින් පාලනය වන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා, මඟහරවා ගනිමින් වඩා කාර්යක්ෂම රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා වර්ධනය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණක් වේ. එමෙන්ම මීට පෙර පැවති ක්‍රමය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටලු නිසි ලෙස හඳුනා ගැනීම සහ ඒවා ජාතික සැලසුම්වලට ඇතුළත් කිරීමේදී යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා මතු වී තිබීම මෙවන් පත් කිරීමක් සිදු කිරීමට මුලික වී ඇත.

එලෙස පත්කරනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පැවරීමට යෝජිත කාර්යභාර්ය සහ වගකීම් ද යෝජනා කර ඇති අතර ඒ යටතේ, ජන සහභාගිත්වය ප්‍රමුඛ කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවා ප්‍රමුඛතා අනුව සකස් කිරීම, එම අවශ්‍යතා ජාතික හා පළාත් සෞඛ්‍ය සැලසුම් සමඟ ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීම, රේඛීය හා පළාත් සෞඛ්‍ය ආයතන අතර සම්පත් කාර්යක්ෂම භාවිතකිරීම සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, අමාත්‍යාංශ ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකරණය කිරීම, ප්‍රමුඛ ව්‍යාපෘති හඳුනා ගෙන අමාත්‍යාංශයට නිර්දේශ කිරීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර ඒවා නියමිත කාල රාමුව තුළ සාර්ථකව නිම කිරීමට සහාය වීම, ඇතුළු කරුණු ගණනාවක් වේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන මෙන්ම පළාත් සභා යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන ලෙස ද්විත්ව ව්‍යුහයකින් යුක්ත වේ. එමෙන්ම සෞඛ්‍ය සේවා ප්‍රධාන වශයෙන් රෝග වළක්වා ගැනීම (Preventive Health Services) සහ රෝග සඳහා ප්‍රතිකාර (Curative Health Services) යන අංශ දෙක යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යුහය හරහා පුළුල් ජනගහයකට සෞඛ්‍ය සේවා සපයනු ලැබුවද රේඛීය හා පළාත් පරිපාලන පද්ධති වෙන්ව ක්‍රියාත්මක වීම හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණයේ අඩුපාඩු ඇතිවීම, සම්පත් පරිභෝජනයේ අකාර්‌යක්ෂමතාව සහ ප්‍රාදේශීය අවශ්‍යතා සම්පූර්ණ ලෙස ජාතික සැලසුම්වලට පිළිබිඹු නොවීම වැනි ගැටළු නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් මෙම කරුණු දක්වා ඇත. විශේෂයෙන්ම ජන සහභාගීත්වය සීමිත වීම හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටළු හඳුනාගැනීම සහ විසඳීම ප්‍රමාණවත් ලෙස සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඒ අනුව මෙලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් අදාළ දිස්ත්‍රික් සඳහා එම කැබිනට් පත්‍රිකාව මඟින් නම් කර ඇත.

අනුරාධපු- සුසන්ත කුමාර නවරත්න , බදුල්ල - රවින්ද්‍ර බණ්ඩා, මඩකලපුව - කන්දසමි ප්‍රභු , කොළඹ - වෛද්‍ය නජිත් ඉන්දික , දිගමඩුල්ල /අම්පාර එම්.එම්. සුගත් රත්නායක , ගාල්ල - වෛද්‍ය නිශාන්ත සමරවීර , ගම්පහ - ධර්මප්‍රිය විජේසිංහ , හම්බන්තොට - වෛද්‍ය සදරුවන් මදරසිංහ , යාපනය - වෛද්‍ය එස්. ශ්‍රී භවනන්දරාජා , කෑගල්ල - ආර්.එම්. සමන්ත රණසිංහ , කළුතර - වෛද්‍ය නිහාල් අබේසිංහ , මහනුවර - තනුර දිසානායක , කුරුණෑගල - වෛද්‍ය ජගත් ගුණවර්ධන , මාතලේ - දීප්ති නිරංජනී වසලාගේ මෙනවිය, මාතර - ලාල් ප්‍රේමනාත් , මොණරාගල - එච්.එම්. සරත් කුමාර , නුවරඑළිය - ටී. මංජුල සුරවීරආරච්චි, පොළොන්නරුව - පද්මසිරි බණ්ඩාර , පුත්තලම - ගයන් ජනක , රත්නපුර - වෛද්‍ය ජනක සේනාරත්න , ත්‍රිකුණාමලය - රොෂාන් අක්මීමන , වන්නි - සෙල්වතම්බි තිලකනාදන් යන මහත්ම මහත්මීන් වේ.

මෙම නව ක්‍රමවේදය හරහා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, ජනතාවට වඩාත් පහසු සහ විශ්වසනීය සෞඛ්‍ය සේවාවක් ලබා දීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 11, 2026 at 8:44 AM

    "පත් කරයි" කිව්වම ඒ පත් කිරීම් වලට අදාල වෙන වැටුප්, දීමනා, සහ පහසුකම් (වාහන, නිල නිවාස) වගේ දේවලුත් ඒ සමඟම ප්‍රසිද්ධ කිරීම තමයි සුදුසු. මොකද අමුතුවෙන් මේ වගේ සම්භන්ධීකරණ නිලධාරීන් අවශ්‍ය නෑ, තියෙන ප්‍රශ්ණ ටික අමාත්‍යංශයේ සුදුසුකම් ලත් නිලධාරියෙකුට සතියක් ඇතුලත වාර්ථාවකින් ලබා දෙන්ඩ පුළුවන්, දුරකථන ඇමතුම් කීපයක්, ඊමේල් කිපයක්, සහ අවශ්‍ය නම් ෆැක්ස් පණිවිඩ කීපයක් හරහා අදාල රෝහල් සම්භන්ධ කරගෙන මේ වැඩේ කරලා දාන්ඩ පුළුවන්. මේ වගේ තනතුරු හදලා දෙන්නේ සන්තෝසම් හැටියට, රජයේ මුදල් කෙලින්ම මේ පිරිසට ලබා දෙනවා, ඒක ඉතින් පහුගිය කාලේ හැම ආණ්ඩුවක්මත් කෙරුවා, මේ වැඩ මේ විදියටම ම කරන්ඩ ම විතරයි නම් හිතෙන්නේ, මිනිස්සුන්ටත් හිතෙයි වෙනස ආපහු වෙනස් කරන්ඩ.

    ReplyDelete
  2. අනේ ගොන් නලින්දයෝ සෞඛ්‍ය අඩුපාඩුව මුලු ලංකාව පුරාවටම තියෙනවා.මිනිස්සුන්ට වෙඩි කන්නේ නැතුව නිදහසේ ඔවුන්ගෙ ආර්ථිකයට හරියන විධියට සාධාරණ මුදලකට භාණ්ඩ හා සේවාවන් ටික ලබාදෙන්න පුලුවන් නම් ඔය මොකුත් අසනීපයක් නැති වෙයි.

    ReplyDelete
  3. හරි අපි පිලිගන්නම්කො , අපි බබාල

    ReplyDelete
  4. ඉබ්බෝ ඔය ලබ්බවල් කරන්න ඉස්සෙල්ල රෝහල්වල සායනවලට අවශ්‍ය සරල මූලික බෙහෙත් ටිකවත් සපයලා හිටපං.

    ReplyDelete
Previous Post Next Post