ඉදිරි කාලය තුළ රටේ විදුලි බල උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි දින 57ක පමණ කාලය තුළ ගිගාවොට් පැය 150ක පමණ විදුලි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති ශ්‍යාම් පතිරාජ මහතා ප්‍රකාශ කළේය.
විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් විසින් මහජන උපයෝගතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති දත්තවල සත්‍යතාව පිළිබඳව පතිරාජ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
ගිගාවොට් පැය 4ක අතිරික්තයක් ලබාගත හැකි බවට කරන පුරෝකථන සත්‍ය තත්ත්වයෙන් තොර බවත්, මෙගාවොට් 150ක පමණ පවතින සැබෑ හිඟය වසා ගැනීමට බලධාරීන් වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
පවතින ගල් අඟුරු තොග සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින පසුබිමක, ඇණවුම් කර ඇති ඉතිරි ගල් අඟුරු නැව් පහ මෙරටට ලැබේද යන්න පිළිබඳව ද ඔහු සැක පළ කළේය.
අප්‍රේල් මාසයේ මැද භාගයේදී පැමිණි නැව පවා රළු මුහුද හේතුවෙන් ගොඩබෑමට නොහැකි වූ බව සිහිපත් කළ ඒ මහතා, ඉදිරියට එළඹෙන්නේ වාරකම් කාලය බැවින් එම නැව් පහ ලබාගැනීම තවදුරටත් අසීරු වනු ඇති බව සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ ඇතිවන විදුලි හිඟය හේතුවෙන් තවත් මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නැවත වරක් මෙලෙස ගාස්තු සංශෝධනයකට මහජන අදහස් විමසීමකට පැමිණීමට සිදුවනු ඇති බවට ද පතිරාජ මහතා අනතුරු ඇඟවීය.

G.A.Kumara
ReplyDeleteG.A.Kumara
ReplyDelete