සිසුන් අතරේ රෝගයක් පැතිරේ... පාසැල් වසා දමයි..


 දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් දෙනියාය ජාතික පාසල, රාජපක්ෂ මහා විද්‍යාලය, ශාන්ත මැතිව් මහා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් හතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඇතිව තාවකාලිකව වසා දමා ඇත.

රෝගී තත්ත්වය සහ ව්‍යාප්තිය දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාඛා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළේ උණ රෝගය හේතුවෙන් දරුවන් 22 දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත්, ඉන් දහනව දෙනෙකුට (19) මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය වැළඳී ඇති බව දෙනියාය මූලික රෝහල මඟින් තහවුරු කර ඇති බවත්ය. 

වෛද්‍ය පරීක්ෂණවලට අනුව, එක් දිනකදී පරීක්ෂා කළ දරුවන් 21 දෙනෙකුගෙන් 19 දෙනෙකුටම මෙම වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

අධ්‍යාපන කටයුතුවලට එල්ල වී ඇති බලපෑම රෝග බිය හේතුවෙන් ප්‍රදේශයේ අනෙකුත් පාසල්වල ද සිසුන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් පහත වැටී ඇත. 

කොටපොළ ජාතික පාසලේ සිසුන් 1,800ක් පමණ සිටියද, පසුගිය දිනක පැමිණ ඇත්තේ සිසුන් 863ක් වැනි අඩු පිරිසකි. 

පවතින අවදානම් තත්ත්වය සලකා බලා වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් දෙනියාය ප්‍රදේශයට කැඳවා විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

රෝගය පාලනය කිරීම සහ ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලබන 11 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 

දරුවන්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, රෝගය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

2 Comments

  1. Our own MP ලාල් ප්‍රේමනාත් , man of the match.

    ReplyDelete
  2. සාගලත් ඔය පැත්තේ ඉන්න නිසා මම හිතුවා පොල්ලේ මල් කියලා

    ReplyDelete
Previous Post Next Post