රැකියා විරහිත උපාධිධාරී පෝලිමට වෛද්‍යවරුත් එකතු වෙලා...


 රජයේ සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවත්, ඉදිරි කාලයේදී මෙම වෛද්‍යවරුන්ද රැකියා විරහිත උපාධිධාරී පෝලිමට එකතු වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙරට සෞඛ්‍ය පද්ධතියට නව විශේෂඥ සේවා රැසක් එකතු වී ඇති නමුත්, එයට ගැලපෙන පරිදි මානව සම්පත් කළමනාකරණය ව්‍යුහගත කිරීමට හා අනුමැතිය ලබා ගැනීමට ලක් නොවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවක හිඟයක් පවතින බව පෙන්නුම් නොකිරීම මෙම අර්බුදයට එක් හේතුවක් බව ඔහු පවසයි.

මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ විගණන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම මානව සම්පත් කළමනාකරණ අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

එක් පැත්තකින් වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැති බව චක්‍රලේඛවලට අනුව පැහැදිලි වුව ද, සේවා ලබාදීමේදී මෙරට ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල්, වතු රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා අනෙකුත් මූලික හා ශික්ෂණ රෝහල්වල වෛද්‍ය හිඟය දැඩි ලෙස පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම නිර්වින්දන වෛද්‍යවරුන්, ළමා හා ශල්‍ය වෛද්‍යවරුන් මෙන්ම උප විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ඉස්මතු වෙමින් පවතින අතර, මේ හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට බලාපොරොත්තු වන රෝගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

නැවත වරක් මෙරට අලුතින් පත්වීම් ලබන තරුණ වෛද්‍යවරුන් රට හැරයාමේ දැඩි ප්‍රවණතාවයක් ද නිර්මාණය වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින්, ඇති වී තිබෙන මෙම තත්ත්වය කෙරෙහි කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ඔහු අවධාරණය කරයි.

1 Comments

  1. ඕව අපිට වැඩක් නෑ අපේ වගකීම රාජපක්‍ෂල දේශපාලනයෙන් අයින් කිරීම පමණයි. දොස්තරල නැත්නම් උඹල සිංහල වෙදකම් කර ගනිල්ල​.

    ReplyDelete
Previous Post Next Post