මද්‍යසාර බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත ස්ටිකර්වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට කඩදාසි ලේබල් වෙනුවට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කළ ද, ඒ සඳහා අය කරන ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදී සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් එම්. ජයන්ත සිල්වා මහතා සඳහන් කළේ, වත්මන් ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය 2022 වසරේදී හඳුන්වා දුන් බවයි.
එම කොන්ත්‍රාත් කාලය 2027 ජනවාරි 02 වැනිදායින් අවසන් වීමට නියමිත අතර, නව ටෙන්ඩරයක් සඳහා දැනටමත් කැඳවීම් සිදු කර ඇති බව ද ඔහු පැවසීය.
මද්‍යසාර නිෂ්පාදකයින් ස්ටිකර් 1,000ක් සඳහා ඇමරිකානු ඩොලර් 5.99ක් ගෙවන අතර, වරාය සහ රේගු ගාස්තු ද ඇතුළුව ඒ සඳහා වැය වන මුළු මුදල ඩොලර් 7.99ක් පමණ වේ.
නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති වන තෙතමනය හේතුවෙන් ඇතැම් දේශීය මද්‍යසාර සහ බීර නිෂ්පාදකයින්ට කඩදාසි ස්ටිකර් ඇලවීමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් මද්‍යසාර බෝතල්වලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වන විට ආරක්ෂිත සලකුණු යොදනු ලබන්නේ ඩිජිටල් මුද්‍රණ ක්‍රමයෙනි.
මෙහිදී අදහස් දැක්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, කඩදාසි ස්ටිකර් මුද්‍රණය කිරීමට සහ ඇලවීමට යන පිරිවැය ඩිජිටල් ක්‍රමයේදී ඉතිරි වුවද, තවමත් පැරණි ගාස්තුවම අය කරන්නේ මන්දැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. ඩිජිටල් මුද්‍රණය මගින් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු විය යුතු බව පෙන්වා දුන් සභාපතිවරයා, නිෂ්පාදකයින් දිගින් දිගටම ඩොලර් 5.99ක මුදලක් ගෙවීමේ පදනම විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ, ඩිජිටල් මුද්‍රණය සඳහා වැය වන සැබෑ පිරිවැය අඩු වුවද, දැනට පවතින ටෙන්ඩර් ගිවිසුම යටතේ ගාස්තු ස්ථාවර කර ඇති බැවින් ඒවා වෙනස් කළ නොහැකි වූ බවයි.
