අපේ අමුඩය උදුරාගෙක ගොයම් කෑ අය අද රජවෙලා.. මහ මෝලුන් ජෙට් ගේනවා...


විටින් විට බලයට පත් වූ සෑම රජයක්ම සිදු කළේ මෙරට ගොවි ජනතාව මහා පරිමාණ සහල් මෝල් හිමියන් හමුවේ පාවා දීම බවත්, වර්තමාන රජය ද එම මාවතේම යමින් ගොවියා අසරණ කර ඇති බවත් මහවැලි ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

මාස් කන්නයේ වී අස්වනු නෙළීම සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති රන්දෙණිය මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්දෙණිය මහතා මෙසේ ද පැවසීය:

"මේ පාලකයින් බලය ලබාගත්තේ අපේ අමුඩය උදුරාගෙනයි. එදා කුඹුරට බැස ගොවියන් සමඟ ගොයම් ගස් කමින්, මඩ නාමින් රංගනයක නිරත වූ පිරිස් අද ගොවියා හෙළුවෙන් තබා රට පාලනය කරනවා. අනුර කුමාරලා, ලාල් කාන්තලා, නාමල් කරුණාරත්නලා එදා බලය වෙනුවෙන් ගොවියා පෙළගැස්වූයේ අමුඩය ගස්සවලා. හැබැයි අද වන විට සරම ඇඳ සිටි ගොවියාට අමුඩය අන්දවා, අවසානයේ ඒ අමුඩයත් නැති කර ගොවියා මහමඟට ඇද දැමීමට මේ රජය කටයුතු කරමින් සිටිනවා."

දැනට අම්පාර දිස්ත්‍රික්කයේ අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර, රජය තෙත වී කිලෝවක් රුපියල් 102කට මිලදී ගන්නා බව පැවසුවද, දැනට ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබන්නේ රුපියල් 70, 75 සහ 78 වැනි ඉතා අඩු මුදලකට බව හෙතෙම අනාවරණය කළේය. මෙම මුදල ගොවියාට සිය නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

තව දින 10කින් පමණ මහවැලි සී කලාපයේ අස්වනු නෙළීම ආරම්භ වන බවත්, ඒ සඳහා ද රජය සතුව විධිමත් සැලැස්මක් නොමැති බවත් සභාපතිවරයා පැවසීය. පවතින ගබඩාවල ඇති පැරණි වී තොග සහල් කර පාරිභෝගිකයාට ලබා දීමට හෝ නව අස්වැන්න ගබඩා කිරීමට ඉඩකඩ සලසා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ද එහිදී චෝදනා එල්ල විය.

වී ගොවිතැන අද වන විට මහා පරිමාණ මෝල් හිමියන් මෙහෙයවන සූදුවක් බවට පත්ව ඇතැයි පැවසූ රන්දෙණිය මහතා, ගොවියාගේ රීරිමාංශ උරා බොන මෝල් හිමියන් ඉන් උපයා ගන්නා ධනයෙන් සුපිරි මෝටර් රථ සහ ජෙට් යානා මිලදී ගනිද්දී, පාලකයින් ඔවුන්ට වක්‍රව උදව් කරන බව ද සඳහන් කළේය.

"ඉතිහාසය පුරාම පාලකයින් බලයට ආවේ ගොවියාගේ කර මතින්. ගොවියා තරහ කරගත් දිනට පාලකයින්ට ගෙදර යන්න සිදු වුණා. එදා කාබනික පොහොර උගුලට එරෙහි සටන ආරම්භ වූයෙත් දෙහිඅත්තකණ්ඩියෙන්. අද නාමල් කරුණාරත්නලා සොයා ගැනීමට පොලිස් සුනඛයන් යොදා ගැනීමට තරම් ඔවුන් ගොවියාගෙන් ඈත් වෙලා. වී මිලදී ගැනීමට වහාම නිසි වැඩපිළිවෙළක් සකස් නොකළහොත්, මේ පාලකයින්ටත් රාජ අසුන්වලින් බැස යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව අප අවධාරණය කරනවා."

සී.කුමාර - ගිරාඳුරුකෝට්ටේ


4 Comments

  1. gonnu vage un raja kale umbalamayi.dan nahayen adanna epa

    ReplyDelete
  2. Than mafiyawa nahe, dan CLEAN SRI LANKA

    ReplyDelete
  3. මාලිමාවේ ජේවීපී අයට චන්දය දීලා දැන් දුක්විඳිද්දී අපිටත් කණ්ගාටුයි

    ReplyDelete
  4. Clean Sri Lanka කියන්නෙ ජවිපාවුන් ඔක්කොම සුද්ද කරන් ලංකාව බංකලොත් කරන එකට.

    ReplyDelete
Previous Post Next Post