රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි
වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරිම සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියාවලිය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන අක්‍රමිකතා හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුල ඇතිවී ඇති අර්බුදය සම්බන්ධවයි
මීට පෙර මාධ්‍ය සාකච්ඡාවේදී අප විසින් ඉහත කරුණු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කිරීමට සූදානම් වන නීති විරෝධී සහ අක්‍රමවත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට හෙලි කරන ලදී. අප විසින් ප්‍රකාශයට පත් කරන ලද කරුණු සත්‍යයක් බව සනාථ කරමින් මේ වන විට එම තීරණ, පවතින නිත්‍යානුකූල පදනම උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මීට ඉහතදී අප විසින් ප්‍රකාශයට පත් කල අයුරින් දුෂ්කර සේවා ස්ථාන 393 කින් සමන්විත වූ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව, කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ පාර්ශවකරුවන්ගේ එකඟතාවයක් නොමැතිව සහ ස්ථානමාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව සේවා ස්ථාන 265 ක් දක්වා අඩුකරමින් ආයතන 128 ක් කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. එසේ ඉවත් කරන ලද එම කිසිදු සෞඛ්‍ය සේවා ස්ථානයක පහසුකම් පසුගිය කාලයේදි වර්ධනය වී නොමැති අතර ඇතැම් රෝහල් පෙරටත් වඩා දුෂ්කරතා සහිත සේවා ස්ථාන බවට පත් වී ඇත.
මෙම අත්තනෝමතික තීරණයේ අරමුණ වී ඇත්තේ රට පුරා සෞඛ්‍ය සේවා ආයතන සංවර්ධනය වී ඇති බවට හුදු මවාපෑමක් සිදුකරමින් දේශපාලනික සංදර්ශනයක් පැවැත්විම බව සමස්ත වෛද්‍ය ප්‍රජාවගේම අදහසයි. දේශපාලනඥයින්ගේ ප්‍රතිරූප උත්කර්ෂයට නංවන දේශපාලන සංදර්ශන සඳහා රෝගී සත්කාර සේවා සපයන සේවා ස්ථාන වල සත්‍ය වශයෙන්ම සංවර්ධනයක් සිදු නොකරමින් බෝඩ් ලෑලි පමණක් වෙනස් කරමින් ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් රටේ සාමාන්‍ය ජනතාව මුලාවට පත් කරමින් එම ජනතාවත් සෞඛ්‍ය සේවාවත් වලපල්ලට තල්ලු කිරිමට දරණ උත්සාහය අපි තදින් හෙලා දකින්නෙමු.
“දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුව” යනු දුෂ්කර සේවා ස්ථාන සඳහා වෛද්‍යවරුන් ආකර්ශණය කර ගැනීමටත්, ඔවුන් එම ස්ථානයේ සේවය කිරීම දිරි ගැන්වීමටත් ලබා දී තිබු මූල්‍යමය නොවන ප්‍රතිලාභයකි. එහිදි දුෂ්කර සේවා ස්ථානයක වසරක කාලයක් සේවය කිරීමෙන් පසු විශේෂ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවකින් ස්ථාන මාරුවක් ලබා ගැනිමට ලබා දී තිබූ අවස්ථාව අහිමි කරමින් සේවා කාලය වසර දෙක දක්වා අත්තනෝමතිකවත්, නීති විරෝධි ලෙසත් කිසිදු පාර්ශවකරුවෙකුගේ හෝ ස්ථානාමරු මණ්ඩලයේ එකඟතාවයක් නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙනස් කර තිබේ.
ඉහත සඳහන් හේතුන් නිසා වෛද්‍යවරුන් දුෂ්කර සේවා ස්ථාන වල රාජකාරි සදහා යොමු කරවා ගැනීමේ සහ රඳවා ගැනීමේ දැඩි අර්බුදයක් මතුවී ඇති අතර රට පුරා විහිදී ඇති දුෂ්කර සේවා ස්ථාන ඉතා විශාල ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයකට මේ මොහොතේ මුහුණ පා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙවැනි අත්තනෝමතික තීරණ නිසා වෛද්‍යවරුන් තවදුරටත් රටේ රැදී සිටීම පිළිබදව අධෛර්යමත් වෙමින් පවතීන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් සහ සෞඛ්‍ය ආයතන වැසී යාමේ තර්ජනය හේතුවෙන් රටේ පර්යන්තයන්යේ වාසය කරන ඉතා විශාල ජනකායක් දැඩි අපහසුතාවයකටත් අර්බුදයටත් ලක්වීමට නියමිතය.
මීට අමතරව වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් වලද දැඩි අර්බුදකාරි තත්ත්වයක් මතුවී ඇත්‌තේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින කාර්ය පටිපාටි හා නීතියට පිටින් යමින් කටයුතු කිරීම හේතුවෙනි.
රාජ්‍ය සේවයේ නව තනතුරු ඇති කිරීමට නම් ඒ සඳහා කළමණාකරන සේවා කොමිෂන් සභාවේ (Management Service Commission) අනුමැතිය ලැබිය යුතුය. මෙහිදී, අපට පෙනෙන්නට තිබෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ කළමණාකරන සේවා කමිටුවේ කිසිදු අවසරයකින් තොරව දේශපාලණික ව්‍යාපෘතියක් වන “ආරෝග්‍යා” ව්‍යාපෘතිය සඳහා වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අනුයුක්ත කර තිබීමයි.
ශ්‍රී ලංකාවේ ජාතික රෝහල් වල සිට පර්යන්තයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක වනතෙක් අනුමත වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය දශකයකට ආසන්න කාලයක් ඇතුලත යාවත්කාලීන වී නැත. එවන් පසුබිමක දැනට දැඩි වෛද්‍ය හිගයකින් පෙලෙන රෝහල් සහ ඒ්කක වෙත වෛද්‍යවරුන් අනුයුක්ත කිරිම පසෙකලා ආරෝග්‍යා වැනි හුදු දේශපාලනික සංදර්ශන සදහා කිසිදු අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමෙන් අසාධාරණය සිදුවන්නේ රටේ රෝගී ජනතාවටම වේ.
පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුන් පිළිබද තීරණ ගැනීමත් එම ලැයිස්තු පිළියෙල කර ප්‍රකාශයට පත් කිරීමත් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලය හරහා සිදු වන අතර එම ක්‍රියාවලිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදු වේ. එහෙත් මෙවර ස්ථානමාරු මණ්ඩලයේ තීරණ උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන බලය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ එහි තීරණ සම්පූර්ණයෙන්ම යටපත් කර සහ උල්ලංඝණය කර ඇත.
රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාව, දේශපාලනය සහ රාජ්‍ය බලය යොදා ගනිමින් යටපත් කිරීම සහ අක්‍රිය කිරිම යහපත් රාජ්‍ය පාලනයක මූලධර්ම අමු අමුවේ උල්ලංඝණය කිරීමකි.
සෞඛ්‍ය අමාත්‍යංශය තුල ස්ථානමාරු ක්‍රියාවලියේ පිළිගත් නිත්‍යානුකූල ක්‍රමවේද උල්ලංඝණය කරමින් දේශපාලන තීරණ ගැනීමේදි සහ ක්‍රියාත්මක කිරීමේදි වර්තමාන අධ්‍යක්ෂ/ වෛද්‍ය සේවා විසින් ප්‍රධාන කාර්යභාරයක් සිදු කරන අතර අදාල අධ්‍යක්ෂවරිය සිය ඉහළ නිලධාරීන්ගේ නියෝගද නොසලකා හරිමින් දේශපාලන තීන්දු තීරණ හා න්‍යාය පත්‍ර සංතෘප්ත කිරීම වෙනුවෙන් තම තනතුර භාවිතා කිරීම අතිශයින් ප්‍රශ්ණකාරිය.
මෙසේ “ආරෝග්‍යා” නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට උත්සාහ ගන්නේ ඊටත් වඩා බිම් මට්ටමේ ශක්තිමත් ලෙස පැතිරුණු, ජාත්‍යන්තරයේ පවා ඉහළ කීර්තිනාමයක් හිමි කරගත් වඩා සංවිධානාත්මක ප්‍රාථමික සේවාවක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර තිබියදි වීම මෙම ව්‍යාපෘතිය දේශපාලණික සංදර්ශණයක් බව පෙන්වන කදිම නිදර්ශණයකි.
මෙම ගැටලු සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික සහ නීති විරෝධී ක්‍රියාකලාපයත්, නිවැරදිව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයන් සහ ක්‍රමවේදයන් දේශපාලණිකරනය කිරිමත් මැනවින් රටට පෙන්වා දෙයි. මෙම ක්‍රියාවන් නිසා අවසානයේ රට පුරා ආරෝග්‍ය ශාලා වැසියාමේ තර්ජනයක් ඇතිවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපහසුතාවයට පත් කරන්නේ අසරණ රෝගී ජනතාව වේ.
පක්ෂ විපක්ෂ කවර හෝ දේශපාලනඥයෙකුගේ හෝ කණ්ඩායමකගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරිම සදහා රාජ්‍ය නිලධාරින් සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයින්, රාජ්‍ය සම්පත් සහ මහජන බදු මුදල් ˝අවභාවිතා ˝ කිරීමට ගන්නා උත්සාහය අපි තරයේ හෙලා දකින්නෙමු. මෙම වැරදි එළඹෙන අගහරුවාදා (2026.03.31) දින උදෑසන 8.00ට පෙර නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණ නොගන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට අප පසුබට නොවන්නෙමු.

JVP doctors striking against their own government.- boru show - only the poor public taxpayers affected
ReplyDeleteGMOA දොස්තරලා 90% ඡන්දෙ දුන්නෙ මාලිමාවට. දැන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ දඟලනවා. අපි කවුරු එපා කිව්වත් ඊළඟ ඡන්දෙටත් මෝඩයෝ මාලිමාවට සප් එක දෙනවා කියල ජෙප්පො සහ න්විප්පො දන්න නිසා බය නැතුව උන්ගෙ වැඩේ කරගෙන යනවා.
ReplyDelete