මහ බැංකුව පොලී අනුපාත 1%කින් ඉහල දමයි..


 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව, මෙතෙක් පැවති සියයට 7.75 ක ප්‍රතිපත්ති පොලී අනුපාතිකය, සියයට 8.75 දක්වා පදනම් අංක 100 කින් (සියයට 1 කින්) හළ නංවා ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය මෙරට මූල්‍ය වෙළඳපොළ, බැංකු පද්ධතිය මෙන්ම සමස්ත මහජනතාව කෙරෙහිද සෘජු බලපෑම් රැසක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පොලී අනුපාතික ඉහළ යාම පොදුවේ කොටස් වෙළඳපොළ කෙරෙහි කෙටි කාලීන මන්දගාමී ස්වභාවයක් ඇති කිරීමට හේතු වේ.

ස්ථාවර තැන්පතු සහ රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර) සඳහා ඉහළ ප්‍රතිලාභ ලැබෙන බැවින්, ආයෝජකයින් අවදානම වැඩි කොටස් වෙළඳපොළෙන් ඉවත් වී ස්ථාවර ආදායම් මාර්ග වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. මේ හේතුවෙන් කොටස් මිල ගණන් සහ පිරිවැටුම තාවකාලිකව පහත වැටිය හැකිය.

මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ වාණිජ බැංකු පද්ධතියේ ණය සහ තැන්පතු පොලී අනුපාතිකද ඉහළ යනු ඇත.

වාණිජ බැංකු වෙත ඇදී එන තැන්පතු ප්‍රමාණය ඉහළ යා හැකිය.

ව්‍යාපාරික සහ පුද්ගලික ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළ යන බැවින්, ණය සඳහා පවතින ඉල්ලුම පහත වැටෙනු ඇත.

එසේම, පවතින ණය වාරික ඉහළ යාම හේතුවෙන් ණය පැහැර හැරීම් ඉහළ යාමේ අවදානමක්ද බැංකු පද්ධතියට ඇති විය හැකිය.

පොලී අනුපාතික ඉහළ නැංවීමේ මූලික අරමුණ වන්නේ වෙළඳපොළේ ඇති මුදල් සංසරණය සීමා කර උද්ධමනය පාලනය කිරීමයි.

ණය පොලී ඉහළ යාම නිසා ජනතාව අත ගැවසෙන මුදල් ප්‍රමාණය සීමා වන අතර, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව (ක්‍රය ශක්තිය) තාවකාලිකව අඩු වේ.

1 Comments

  1. තව සියයට එකකින් දෙකකින් විතර පොලී අනුපාතිකය ඉහළ ගිය ගමන් බැංකු මහ කුප්ප වැඩක් කරනවා.උං තක්කඩි විදියට ස්ථාවර පොලී අනුපාතිකය යටතේ ගත්ත ණය මුදල්වලත් පොලිය ඉහළ දානවා.

    ReplyDelete
Previous Post Next Post